Рет қаралды 3,233
#nawodk #navod #navodk #lakegala #narangamuwa #nawodKumarasinghe
ලකේගල යමුයි කියල ගමන සෙට් වුණේ හදිසියෙම. ඒ ඉස්කෝලෙ යාලුවෙක්ගේ වෙඩිමකට යන්න මට මහනුවරට එන්න වෙච්චි හන්ද. වෙඩිම තිබ්බෙ සිකුරාද දවසක රෑ මහනුවර. ඉතින් පස්සෙ දවස් දෙකේ මගේ යාලුවෝ ගොඩ දෙනෙක්ට නිවාඩු. ඉතින් අපේ චමිත කලින්ම කියල තිබ්බෙ ඔය දවස් දෙකේ නාරංගමුව ලකේගල නගින්න යමුයි කියල.
මේ ගමන නම් ඒ හැටි ලේසි පහසු ගමනක් නෙවෙයි. ඒ හන්දම මං එකෙන් ම වැඩේට කැමති වුණා. අපි පහුවෙනිදා උදේම කද මලු පැක් කරන් චමිතයාගේ කාර් එකේ නැගල නාඋල, ලග්ගල, රණමුරේ හරහා නාරංගමුවට ආවා. අපිත් එක්ක තව සීඩීඑසයි සයිනුයි ටිපියයිත් ගමන යන්න ආව.
ඒ එනකොට චමිතයාගේ යාලුවො තුන් දෙනෙකුයි අපේ සිඩෑනුයි නාරංගමුවෙ knuckles reach nature villa (0718115358) එකට වෙලා බලන් ඉන්නවා. එතැනට එනකම් පාර නම් තැනක් දෙතැනක් ඇරෙන්න හොඳටම තිබ්බා.
අපි ඉක්මණටම ගමන පටන් ගත්තා. අපේ නඩේ ගුරා නාරංගමුවෙ දයාරත්න මාමා (0761683785).
කලින් කියපු විදියට අපි අද යන්නෙ නාරංගමුව ලකේගල. ගොඩක් අය දන්නෙ ලකේගල කියපුවාම අර මීමුරේට පේන උලක් වගේ ගල. හැබැයි ලකේගල කියන්නේ ගල් තුනක එකතුවක්. නාරන්ගමුව ලකේ, මීරියගොල්ල සහ මීමුරේ ලකේගල. මේකෙන් මීමුරේ ලකේගල හැදින්වෙන්නේ තරණයට අපහසු කන්දක් කියලා. නමුත් නාරංගමුව ලකේගල අර තරම් ම අමාරු නැතිවුණත් සාපේක්ශව තරණය අපහසු කන්දක්. මේ ගමනේදි මුලින් ම යන්නේ නාරංගමුව කදු මුදුනට. එතැනින් පැය භාගයක පමණ ගමනකින් පස්සෙ මීරියගොල්ල කදු මුදුනට එන්න පුළුවන්. නමුත් ඔබට මීමුරේ ලකේගල යාමට අවැසි නම් ඒ සඳහා මීමුරේ ගම්මානය හරහා වන වෙනත් මාර්ගයක පැමිණිය යුතු වනවා.
දැන් යලිත් ගමනට ...
ඉතින් අපේ චමිත මේ ගමන යන හතරවෙනි සැරේ මේ. කලින් තුන් පාරම පාර වැරදිලා, රෑ වෙලා, වැස්ස වගේ එක එක හේතු හන්දා කන්ද නැග ගන්න එයාට බැරිවෙලා. ඉතින් මේ පාරත් කොහොම කොහොම හරි පොර නඩේ ගුරා වගේ ඉස්සරහින් ම ගමනේ. අපරාදෙ කියන්නෙ වැඩි දුරක් යන්න කලින් ම පොරට පාර වැරදුණා. වෙලාවට තිසර අයියා දයාරත්න මාමව ගමනට කතා කරගත්තෙ.
ඉතින් මෙදා සැරේ ඒ මාමා පෙන්නපු පාර දිගේ ඇවිත් අපි දුම්බර වන කොමළිය ඇතුළට පය තිබ්බා. පරිසරයේ නම් තිබ්බෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරත්වයක්. අපි ටිකෙන් ටික වනය තුළට නිහඬවම ගමන් කළා. ඔය අතරේ තමයි අපේ සයින් මොකද්දෝ ගෙඩි වර්ගයක් පෙන්නලා ඒක කන්න කියල හැදුවෙ.
යකෝ මොනාහරි වුණොත්. බෙහෙත් ගෙනල්ලත් නෑ මං. පොරගෙ මැටි වැඩේට මං එක හෙළාම විරුද්ධ වුණා. කෝකටත් මල්ලි ඔයා එන ගමන් ඕක කන්න. අද ම මට සෙට් වෙච්ච තිසර අයියත් පොරට කින්ඩි ටෝක් එකක් දැම්මා. සයින එකෙන් ම කාපු දේ තූ කියල විසික්කරලා දැම්මා.
ඒ වගේ උසුලු විසුලු, අල්ලාප සල්ලාප මැද්දෙ අපි එක පාරටම ආවෙ උඩු වියනක් තියෙන යටි රෝපනයක් නැති තැන තැන ගල් වැටිලා තියෙන අමුතුම පැත්තකට. ඒ හරියට කියන්නෙ උයන්ගමුවලු. රාමා සීතාව හන්ගන් ඉදලා තියන්නේ ලකේගල ලු .කොහොමහරි රාවණා විද්ද ඊතලයක් වැදිලා ලකේගලින් කෑල්ලක් කඩන් වැටිලලු. ඒකලු තැන තැන ගල් කෑලි තියන්නෙ. ඒ මදිවට ඒ සිද්ධියේ බලපෑම හන්දා උයන්ගමුවෙ කවදාවත් යටි රෝපනයක් හැදෙන්නෙත් නැහැලු. උයන්ගමුව නම් ඇත්තටම දිව්‍යලෝකයක්. ඒ තරමටම ලස්සනයි.
අපි ඒ ලස්සන ඉසව්ව පහුකරගෙන ඉදිරියටම ඇදුණා. අතර මගදි හමුවෙච්චි දිය පහරවල් වලින් අපේ සුහද ගින්දර නිවාගන්න අමතක කළේ නැහැ. ඒ බොන වතුර පොදක වුණත් තිබ්බෙ කියාගන්න බැරිතරම් සිසිලසක්. ඔය අතරේ හම්බවෙච්ච ගල් තලාවක් උඩට වෙලා අපි කෙටි ආහාර වේලකින් සප්පායම් වුණා.
පහුගිය දවස් වල වැස්ස හන්දා අපි අද ලකේගල මුදුනටම යන්නෙ නැතුව ඉමු. දයාරත්න මාමා ගමන පටන් ගද්දිම දාපු කොන්දේසිය අපට ආයෙම මතක් කළා. ඒත් අපේ තීරණය වුණේ ඒ හැටි වැස්සක් නැති හන්දම අවධානමක් අරගෙන හරි ගමන ඉදිරියටම යන්න. ඒ තීරණේ ජීවිතේ ගත්තු හොඳම තීරණ වලින් එකක් කියල අපිට ඒ වෙලේ නම් හිතුණේ නැහැ.
අපිට යන්න තිබ්බෙ අංශක හැටක විතර දල බෑවුමක් තිබ්බ කන්දක. ගල් පර්වත දෙකක් අතර මැද්දෙ වැවිලා තිබ්බ ඉලුක් ගාලවල් වල පය තියාගෙන. ඇත්තම කිව්වොත් ඒ ගමන හිතපු තරම් නම් අමාරු වුණේ නැහැ. කොහොමින් කොහොම හරි අපි පළවෙනි ගමනාන්තය වෙච්චි නාරංගමුව කන්ද උඩට එනකොට පිටිපස්සෙන් ම ඉතුරු වුණේ තඩි බෑග් එකක් එල්ලගත්තු මායි ටිපියයි.
කෙලියයි කියන්නෙ අනික් අය පේන්න හිටියෙ නෑ.
චමිත. ඔයාල කොහෙදෝ. මහ හයියෙන් අපි දෙන්න කෑගැහුවත් පිළිතුරු සද්දයක් නම් ආවෙ නෑ. යකෝ මුං අපිව දාල කොහෙ ගියාද. කන්දෙන් පල්ලට පැන්නවත් ද.
සිතුවිලි අතර අතරමං වෙලා වැඩි වෙලාවක් හිටියේ නෑ. කන්දෙ තිබ්බ නැම්මකින් එයාල මතුවුනා. බැලින් නම් එයාල කන්දෙ එහා පැත්තට ගිහින්. අපි වැඩි වෙලාවක් ගන්නෙ නැතුවම දවසේ ගමනාන්තය වෙච්ච එහා පැත්තෙ කන්දට යන්න පිටත් වුණා. ඒකට කියන්නෙ මීරියගොල්ල කියලා. කදු දෙක එකටම වගේ තියෙන හන්දා ගමේ අය වුණත් මෙහාට කියන්නෙ නාරංගමුව ලකේගල කියලා.
අපි වැඩි අමාරුවක් නැතුව මීරියගොල්ල උඩට නැගලා වීව් පොයින්ට් එකට ආවා. අවාසනාව කියන්නේ මුළු කදුවැටියම් ඝන මීදුම් තට්ටුවකින් වැහිලා ගිහින්. අපි බලන්න ආපු මීමුරේ ලකේගලේ සේයාවක් වත් නෑ. අපි ඉතින් දවල්ට කන්න ගෙනාපුවා දිග ඇරගත්ත. වෙලාව හවස දෙක හමාරයි. වැස්සකුත් එනවා. ආපහු යන්නත් ඕනි. වීව් එකත් නෑ. තව බලන් ඉඳලා කලුවරේ ආපහු යනවා ද වීව් එක බලන්නෙ නැතුව දැන් ම ආපහු යනවා ද...
අපි තව පැයක් බලමු.
ඒ තීරණේ අරන් මහ වෙලාවක් ගියේ නෑ මෙන්න එක පාරටම අර තිබ්බ ඝන මීදුම් තට්ටුව අතුරුදහන් වෙලා ගිහින් මීමුරේ ලකේගල නම් වූ දැවැන්තයා එක පාරටම අපේ ඉස්සරහ මැවෙන්න පටන් ගත්තා... ඒ දර්ශනේ මං ඇස් දෙකෙන් දැකපු හොඳම දේවල් වලින් එකක්.
ඉතින් ඔය දර්ශනය ඔහොම මැවෙන අතරේ අපේ කට්ටියගේ කැමරා එක එක ඈංගල් වලින් සට සට ගාල පත්තුවෙන්න පටන් ගත්තා...
ඉතින් ඒකත් එහෙනම් හරි. දැන් ආහපු ගමන.
අර අමාරුවෙන් ගියපු හරිය අපි බැස්සෙ රූට රූට. පශ්චාත් භාගයට පිං සිද්ධවෙන්න. සමහර තැන් වල අනික් පැත්ත හැරිලත් බැස්සා. හුටා කියන්නෙ අතර මගදි වැස්සකුත් කඩං වැටුණා. වෙලාවට එතකොට අමාරු හරිය බැහැලා ඉවරයි. කොහොමින් කොහොම හරි අපේ නවාතැන් පොළට එනකොට වෙලාව හවස හත හමාරට විතර ඇති...