Рет қаралды 513
බෝගොඩ ලී පාලම 16 වන සියවසෙහි ශ්‍රී ලංකාවේ දඹදෙණි රාජධානි යුගය තුල ඉදිකරන ලද දැව පාලමකි. එය ශ්‍රී ලංකාවේ දැවයෙන් ඉදිකරන ලද පැරණිතම පාලමක් ලෙස සැළකේ.[තහවුරු කර නොමැත] පාලම, බදුල්ල නගරයේ සිට කිලෝ මීටර 13 ක් දකුණු දිගින් පිහිටා ඇත. පාලමේ කොටස් එකිනෙක සම්බන්ධ කරන ඇණ ඇතුළුව එහි සියළුම කොටස් දැවයෙන් නිර්මාණය කොට තිබේ. එහි වහලයට යොදා ඇති උළු මහනුවර යුගයේ බලපෑම ඉස්මතු කරයි. අතීත බදුල්ල හා මහනුවර මං යා කරමින්, පාලම ගල්ලන්ද ඔය හරහා නිර්මිතය.
බෝගොඩ පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලි ඇල කියන ප්‍රදේශයේ. බෝගොඩ පාලම අයත් වෙන්නේ බෝගොඩ විහාරයටයි. මේ විහාරයත් බොහෝ පැරණි, ඓතිහාසික වටිනාකමක් ඇති විහාරයක්.
බදුල්ල නගරයේ සිට ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ මේ පාලම පිහිටා තිබෙන තැනට ලඟා වෙන්න පුළුවන්. ඉන් එක පාරක් තමයි, හාලිඇල - වැලිමඩ මාර්ගය. මේ පාරේ කි.මි. එකොළහක් විතර ගියාම ජගුල්ල හංදියට එන්න පුළුවන්. එතනින් වමට හැරිලා තව කි.මි. දෙකහමාරක් විතර ගියාම බෝගොඩ විහාරයට ළඟා වන්නට හැකියි.
අනෙක් පාර තමයි, මීගහකිවුල හරහා වැටී ඇති අලුගොල්ල මාර්ගය. මේ පාරේ ඇවිත්, කන්දෙගෙදර තැපැල් කාර්යාලයට පෙර හමුවන හන්දියෙන් වමට තිබෙන කන්දෙගෙදර පාසල් පාරේ ගමන් කරන්න අවශ්‍යයි. මේ පාරේ මුළු දුර කි.මි. 23.3 වෙනවා. ගල්ලන්ද කියන ඔය හරහා තමයි බෝගොඩ පාලම ඉදි කර තිබෙන්නේ.
බෝගොඩට යන මාර්ගයත් බොහොම ලස්සන එකක්. තැන් කීපයකම පාරට ඉතා කිට්ටුවෙන් අලංකාර දියපාරවල් කීපයක්ම දකින්න පුළුවන්. බෝගොඩ පාලම නරඹන්න යන බොහෝ දෙනා මේ දියපාරක් අසල මොහොතක් හෝ නතර වෙලා යෑම බොහෝවිට අනිවාර්යයි .
බෝගොඩ පාලමේ ඓතිහාසික වැදගත්කම හා ජන කතා
බෝගොඩ පාලම අයත් වෙන්නේ නුවර යුගයටයි කියලයි විද්වතුන් සඳහන් කරන්නේ. ඒ කියන්නේ මේ පාලම හදල තියෙන්නේ 16 වන සියවසේදී, එනම් මිට වසර 400 විතර කලින්. ඒකට හේතුව හැටියට ඔවුන් දක්වල තියෙන්නේ, මහනුවර යුගයේ ගොඩානැගිලි වල ලක්ෂණ මේ පාලමේ දකින්න ලැබෙන නිසා.
පෞරාණික බෝගොඩ විහාරයට අයත් බුදුමැදුරත් එක්කම, දකුණු පසින් ගුහාවක් පිහිටා තියෙනවා. මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයකු වෙලා හිටපු බ්‍රහ්මදත්ත කියන නරපතියා විසින් වළගම්බා රජතුමාට පිළිගන්වපූ එකක්. වළගම්බා රජතුමා ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් මිදිල අවුරුදු 3 කට ආසන්න කාලයක් මේ ගල් ගුහාවේ සැඟවී ඉඳල තියෙනව. ගල් ගුහාවත් එක්කම උමඟක් දකින්නට පුළුවන්. මේ උමඟ දිගේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් , රුවන්වැල්ලටත් යන්න පුළුවන් බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එත් මේ උමඟ නම් අද සම්පූර්ණයෙන් දකින්න ලැබෙන්නේ නැහැ.
බෝගොඩ පාලම ඉදි කිරීම එක්ක විවිධ ජනකථා බැඳී තිබෙනව. එක ජන කතාවක් මෙහෙමයි :
පාලම නිර්මාණය කරන්න ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. ඒ තමයි කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් විතර උස කුඹුක් කඳක් උඩ තමයි පාලම ඉදිවෙලා තියෙන්නේ. ගල්ලන්ද ඔය හරහා දමන ලද විශාල ලී කඳන් තුනක් භාවිතා කරලා තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ.
මේ වහලයේ ඇති තවත් විශේෂත්වයක් තමයි, අඩි අටක පමණ උසින් යුතු ලීයෙන් හදලා තියෙන එක. වහලයේ පියස්සේ දක්නට ඇති පෙති, මහනුවර යුගයට නෑකම් කියන කැටයම් වලින් අලංකාර කරලා තියෙනවා. ඒවගේම මේ පාලම හදන්න එකම ඇණයක් වත් භාවිතා කරලා නෑ. සියලුම කොටස් ශක්තිමත් දැව මූට්ටු වලින් තමයි සකස් කරලා තියෙන්නේ. පාලම ගැන කතා කරන කොට එක ඉතාමත් විශේෂ කරුණක් හැටියට දක්වන්න පුළුවන්. විශාල දැව කඳන් දෙකක් මත ඇති පාලම දෙපස අලංකාර අත්වාරුවක් යොදල තියෙන්නේ ගමන් කරන්නන්ගේ ආරක්‍ෂාව සඳහායි.
එදා සහ අද තාක්ෂණය
සාමාන්‍යයෙන් පාලමකට වහලයක් හදන්නේ නැහැ. ඒත් බෝගොඩ පාලමට අලංකාර වහලයක් තියෙනවා. මේ වහලය හදල තියෙන්නේ අවුවට - වැස්සට සෙවන දෙන්න විතරක් නෙමෙයි; පාලමට අමුතු ගාම්භීර පෙනුමකුත් වහලය නිසා ලැබිල තියෙනවා. පාලමේ වහලය උලු වලින් හදල තිබිමත් වැදගත් ලක්ෂණයක් විදියට දක්වන්න පුළුවන්.
මේ පාලම ඉදි කරලා තියෙන්නේ එක්තරා පියෙක් හා පුතෙක්. පුතාට පාලමේ අවසන් වැඩකොටසක් පවරලා එතනටම වෙලා ඉන්න කියල තාත්තා වෙන වැඩකට ගිහින් තියෙනව. හැබැයි පාලමේ චාරිත්‍ර වලට අනුව කළයුතු අවසන් වැඩකොටසකුත් තිබිල තියෙනවා. ඉතින් ඒ වැඩටික පුතාට කරන්න එපා කියලයි තාත්තා පිටවෙලා ගිහින් තියෙන්නේ. මොකද පුතාට ඒ චාරිත්‍ර ගැන වැඩි දැනීමක් නැති නිසා. ඒත් පුතාට පාලමේ වැඩනිම කරන්නට තිබුනු හදිසිය නිසා, අර තාත්තා එපා කියල ගිය වැඩකොටසත් තනියම නිම කරල ඉදිරියට ගිහින් තියෙනවා පියාව මුණගැහෙන්න. ඒත් චාරිත්‍ර වලට අනුව පාලම නිම කරන්න නොහැකි වීම නිසා පුතාට ශාපයක් වැදිල අකාලයේ මිය ගිහින් තියෙනවා.
පාලමේ සුවිශේෂී ලක්ෂණ
බෝගොඩ පාලම හදල තියෙන විදිහ බැලුවාම දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා පුදුම වෙනවා. එකම ඇණයක් වත් භාවිත කරන්නේ නැතුව, ඉතා සුක්ෂම විදිහට ශක්තිමත්ව හා කල් පවතින විදිහට පාලමේ සෑම කොටසක්ම සම්බන්ධ කරලා තියෙන්නේ අපූරු තාක්ෂණික ක්‍රමයකට. ඒ කියන්නේ අතීතයේ අපේ රටේ වඩු කර්මාන්තය, ඉඳිකිරීම් ක්ෂේත්‍රය ඉතා දියුණු තත්වයක තිබිල තියෙනවා. අද අපි මහා පරිමාණ සංවර්ධන කටයුතු ගැන කතා කලත්, අපේ පැරණි තාක්ෂණික ක්‍රමවේදයන් හා දැනුම භාවිතා නොකරන එක කණගාටුවට කරුණක්. එත් අපි ලෝකයේ අන් ජාතීන්ට නොදෙවෙනි උසස් දැනුමකින් හා හැකියාවකින් පොහොසත් ජාතියක් බව බෝගොඩ පාලම වගේ පෞරාණික වස්තුන් වලින් මනාව පැහැදිලි වෙනවා. මේක අපිට ජාතියක් හැටියට ආඩම්බරයක් නේද?