Рет қаралды 586
පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්ඳේ
නාඬන් දැන් එනු බෑ
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
බැන්දෝ කොමලත නිරිඳුට දාවුන්
දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් බැඳි රූපා
රන්ගිරගින් පායයි මුළු දීපා
මන්මද බැන්ඳලු සුන්දර රූපා
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්…
තැන තැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්…
අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්… ///
පද: සම්ප්‍රදායික වැදි ජන නැළවිලි ගී
තනුව සහ සංගීතය: ඩබ්ලිව්. ඩී. අමරදේව
මෙම ගායනය: ඩබ්ලිව්. ඩී. අමරදේව සහ සුභානි අමරදේව
• Chando Ma Bilinde with...
ගීතයේ පද කාගේ ද?
මේ ගීතය ලිව්වේ රත්න ශ්‍රී විජේසිංහ හෝ තවත් සමහර තැනක සඳහන් වෙන පරිදි මහගම සේකර නෙවෙයි. මේ වැරදි මතය ආවේ කොහොමද කියලා මම රත්න ශ්‍රී විජේසිංහගෙන් ඇහුවම ඔහු කීවේ මීට වසර 25කට පෙර අමරදේව ගුවන්විදුලිය හරහා කැසට් පටයකට මෙම ගීතය ගායනා කරපු වෙලාවේ ගීතය ගැන විස්තර කරලා රත්න ශ්‍රී වොයිස් කට් එකක් දුන්න බවත් සමහරු එය වරදවා වටහා ගෙන මෙය ඔහු රචනා කළ ගීයක් ලෙස හිතන බවත්. පණ්ඩිත අමරදේවයන්ට රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේදී සාහිත්‍ය සූරී ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නිෂ්පාදනය කල, කිත්සිරි අලුත්ගේ හා ලලිත් හේවගේ සම්බන්ධීකරණය කල ‘අමරසර 1 - නිවහල් සිතුවිලි’ කැසට් පටයේ, රත්න ශ්‍රී ගේ හඬින් කියන ඒ විස්තරය මෙන්න. "ඉපැරණි වැදි ජන ගීයක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච මේ ගීතය අවුරුදු තුන්සීයක, හාරසීයක තරම් ඈත ඉතිහාසයකට අයිති වෙන ගීතයක්. අපි දන්නවා සීතාවක රජකළ රාජසිංහයන් (ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු පළමුවන රාජසිංහ / Iවන රාජසිංහ / සීතාවක රාජසිංහ හෙවත් ටිකිරි බණ්ඩාර ගේ). ඒ රාජසිංහයන්ට හිටියා වැදි බිසවක්. ඒ වැදි බිසව තමන්ට දරුවන් නැති නිසා කතරගම දෙවියන්ට බාරයක් වූ බව සඳහන් වෙනවා පුතකු තමන්ට ලැබුනොත් තමන්ගේ කොණ්ඩේ කපලා දෙනවා කියලා කතරගම දේවාලේ අතුගාන්න. ඉතින් ඒ ආකාරයට ඇත්තටම ඇයගේ බාරය සපල කරමින් ඇයට පුතකු ලැබුනා. ඒ පුතා නලවපු ගීතය තමයි මේ චන්දෝ මා බිලිඳේ කියන ගීතය. මේ ගීය වැදි ජන ගී ආශ්‍රයෙන් තමයි නිර්මාණය වී තියෙන්නේ. ඇය වැදි බිසවක නිසයි ඇය මේ ගීය ගයා තම දරුවා නැලෙව්වේ. මේ ගීය මුලින්ම අපට අහන්න ලැබුනේ “සංස්කෘති සඟරාව”ට (1953 දී පල කිරීම ආරම්භ කළ) කිරිහාමි මොහොට්ටාල කියලා එක මහත්මයෙක් සැපයෙව්වට පස්සේ. ඉන් අනතුරුවයි අමරදේවයන් මේ ගීය තමන්ගේ නාද මාධ්‍යයෙන් අර්ථකථනය කරලා ගායනා කරන්නට යෙදුනේ."
අමරදේව ගායනා කරන මෙම පද වැල කටවහරෙන් ආපු වැදි නැළවිලි ගීයක් ආශ්‍රයෙන් බිහි වූවක්. වැදි දරු නැළවිලි ගීයේ එක සවරූපයක් සම්බන්ධ 1947 දී එන එක ලිඛිත සාක්ෂියක් තමයි පහතින් තියෙන්නේ.
1947 කාව්‍ය සංග්‍රහව හෙවත් කව් සඟරාව (පිට 280)
“වැද්දන්ගේ දරුනැලවිලි සහ දෑකැති සිව්පද අප සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ දක්වා තිබෙන කවි හා සම්බන්ධයි”
1947 චන්ද්‍රා බා බිලිඳේ -
කෝන් ගචේ මුල ඉහලට ජානා
හීන් ගචේ ඉඳ හා හූ ගානා
පැන්න කලට කුකුලන් හඬන්නා
ඔන්න බිලිඳු බකමූනු අඬන්නා
1948 වත්ත පහල ඉඳ හෙමින් අඬන්නා
අපොයි කියා බඩරුජා කියන්නා
හෙමින් ඇවිත් අගු කොනම අඬන්නා
ඔන්න බිලිඳු බෝදිලී අඬන්නා
1949 චන්ද්‍රා බා බිලිඳේ - ගඩිගිඩි ගාමින් බඩ ගොරවන්නා
මහගච පොඩිකර බිමත ලවන්නා
වට මිටි පැටියන් ලග කැදවන්නා
ඔන්න බිලිඳු ඇත්රැල බිඳ එන්නා
1950 චන්ද්‍රා බා බිලිඳේ - පැන පැන අතු අග කොළ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට චිටි පැටියන් ලග කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන එන්නා
1951 චන්ද්‍රා බා බිලිඳේ නුඹ නාඩන්
ඉන්ද්‍රා කොමලත් නිරිඳුට දාවූ
බාලොලින් නාඩන් බිලින්දේ
නාඩන් දැන් එත්දෑ
1952 පිටනන් ඔහුගේ පත්‍ර කිතුල්ලා
කගනන් ඔහුගේ කුනුකෙල මල්ලා
කොටකම් බුච්චා ඉචුරු මහල්ලා
ගෙට පැනලා හිට ගෙනියති අල්ලා
(දෙවැනි කාණ්ඩයේ කවි මෙහි පල නොකරන මුත් එහි ඇති සටහන මෙසේය - පිට 31)
“ලුවිස් ද සොයිසා මහමුදලි තුමා වන්නි හත්පත්තුවට ගිය කාලෙදී වැද්දන්ගේ කව්, සිලෝ, ගීතිකා, දරුනැලවිලිද ඔවුන් විසින් ඔප්පු කර තිබේ. එයින් වැදගත් කීම් එකොළොසක් මෙහි අන්තර්ගත කර ඇත්තේය.”
මේ ගීතය ගැන 2013 දී තිස්ස දොඩන්ගොඩ ‘හද ගී පොතෙහි’ ‘කුරවී කිරිල්ලන් පානා ඉඟි බිඟි’ නම් බ්ලොග් පිටුවේ ලියන්නේ මේක "අඹේවෙල රාලගේ" ප්‍රබන්ධයක් කියලා "දයා අමරසේකර" තමන්ගේ පොතක ලියලා තිබුණු බව කිව්වත් තිස්ස ඒ සම්බන්ධ මූලාශ්‍රය හරියටම දෙන්නේ නැහැ.
මෙන්න අඹන්වෙල රාලගේ කියලා දයා අමරසේකරගේ පොතක තියෙන බව සඳහන් කරලා තිස්ස දොඩන්ගොඩ ඉදිරිපත් කළ මුල් දරු නැළවිලි කවි ප්‍රබන්ධය මෙන්න.
"චන්දෝපම බිලිඳේ නුඹ නාඬන් - ඉන්ද්‍රෝ කමලක නිරිඳුට දාවු
බයි බාලොලි නාඬන් බිලිඳේ
දැන් දෙවියන් මට දුන් තුනු රූපා - චන්දන කුංද සමන් සිරි සේපා
වන් පිරිසිදු යස සිත් සු මනා පා - මන්මද දැන් දරු පෙම් බැඳි රූපා
පැන්න තැනම කුකුළන් හඬලනවා - කන්නට බත් ලැබ ඌ සැම තෑනා
ගොන්න ගහේ හිඳ හා හං ගානා - ඔන්න ඇවිත් පැනපිලු බකමූණා"
මේ අනුව අදාළ වැදි බිසවගේ නිර්මාණයක් ලෙස ජනප්‍රවාදයෙන් ආපු වැදි බස මුසු දරු නැළවිලි ගීය, 1953 ආරම්භ කළ සංස්කෘති සඟරාවට කිරිහාමි මොහොට්ටාල විසින් ලියා එව්වට පස්සේ අමරදේව එම පදවැල අරගෙන -සමහර විට සුගායනීය වීමට පද සුළු වශයෙන් වෙනස් කරමින් ගායනා කියන එක වඩා විශ්වාස දායී තොරතුරක් බව සිතෙනවා.