Рет қаралды 8,405
මොණරා අවීච්චියාගෙන් පිල් කළඹ ණයට ඉල්ලා ගත් කතාව හෙවත් ගොම්මන් යාමේ “ආයිත් කියාන්, ආයිත් කියාන්" කියමින් කෑ මොර දෙන අවිච්චියා ගැන සිංහල ජනප්‍රවාදය
එකෝමත් එක කාලෙක අවීච්චියා විශාල පිල් කළඹක් සහිතව සිටි අලංකාර කුරුල්ලෙක්. අවිච්චියාගේ හොඳම යාලුවා වුන මොනරා නම් ඒ කාලේ කැලේ ඉන්න අවලස්සනම කුරුල්ලෙක් කියලයි සැළකුවේ. හැබැයි මොනරාට මිහිරි කට හඬකින් ප්‍රිය වදන් තෙපලීමේ හැකියාවක් තිබ්බා. මොනරා අවීච්චියාගේ හොඳම යාලුවා වුනාට මොකද එයා හිටියේ අවීච්චියාගේ පිල් කළඹ ගැන ඊර්ෂ්‍යාවෙන්. දවසක් කුරුළු කුමාරියෙක් දීග යන මංගල්ලෙට කැලේ සේරම කුරුල්ලන්ට ආරාධනාවක් ලැබුනා. මොණරා තමන්ගේ කැත ඇඳුම නිසා හිටියේ බොහොම සිත් තැවුලෙන්. මොනරා අවීච්චියා ළඟට ගිහින් ඇහුවා මඟුල් ගෙදර ගිහිල්ලා එන්න ඇඳුම ණයට දෙන්න පුළුවන් ද කියලා. අවීච්චියාත් මොනරාට තමන්ගේ පිල් කළඹ හෙවත් ඇඳුම ණයට දුන්නේ ඉරගල මුහුදට වැටෙන වෙලාවට ආපහු එන්න ඕනේ කියන පොරොන්දුව පිට. මොනරා තමන්ට අලුත ලැබුණු ඇඳුමත් ඇඳන් මඟුල් ගෙදර ගියහම, සේරම කුරුල්ලෝ වටවෙලා එයාව වර්ණනා කරන්න පටන් ගත්තා. ඒ සතුටට මොනරා නටන්න පටන් ගත්තම ඊටත් වැඩිය ලස්සනයි. එදා කාගේ කාගේත් කතාවල තේමාව වුනේ මොනරාගේ පිල් කළඹ. මේත් එක්කම මොනරාට ආත්මාර්ථකාමී සිතිවිල්ලක් ආවා ඇඳුම නොදී තියාගන්න. හැබැයි තමන්ගේ ඇඳුම නැතිව එළියට යන්න බැරිව අවිච්චියා නම් හැංගිලයි හිටියේ. අවීච්චියා ගොම්මන පහු වෙන කල් බලන් හිටියත් මොනරා ආවේ නැහැ. "කමක් නැහැ අද මොකක් හරි කරදරයක් වෙන්න ඇති. හෙටවත් ගෙනත් දෙයි නේ" කියලා අවීච්චියා හිත හදා ගත්තත් මොනරා නෙවෙයි පැත්ත පලාතක වත් ආවේ. එදා පටන් ගොම්මන් යාමේ අඳුරට මුවා වෙලා තමන්ගේ ඇඳුමට මොනරා කරපු අවනඩුව ආයිමත් කියමින් මොනරා හොයමින් හඬ තලන එක අවීච්චියාගේ පුරුද්දක්. උදේ කාලේ පිල් විදහා ගෙන ලස්සනට නැටුවත් මොණරාගේ පස්ස පැත්ත එළියේ බව ඌ දන්නේ නැහැ (ඒ කතාව ගැන නච්ච ජාතකය බලන්න). අවීච්චියා ඇඳුම ඉල්ලයි කියන බයෙන් ගොම්මන් වෙන කොට මොනරාත් ගහක් උඩට නැඟලා හැංගෙන්න පුරුදු වුනා. මේ බය නිසාම මොනරාගේ ලස්සන කට හඬ නැතිව ගිහින් අමිහිරි විලාපයක් බවට පත් වුනා. ඒ විතරක් නෙවෙයි දවල් කාලෙත් පඳුරක් පොඩ්ඩක් හෙල්ලුනත් තැති ගනිමින් කලබල වෙලා දුවන්නත් බය බිරාන්ත වෙලා කටුක හඬින් කෑ මොර දෙන්නත් පටන් ගත්තේ ඒ තාමා ණයට ගත්තු ඇඳුම ඉල්ලගෙන එන අවීච්චියා කියලා හිතෙන නිසා. අවිච්චියාත් අද දක්වාම ඇඳුම ඉල්ලමින් "ආයිත් කියාන්, ආයිත් කියාන්' කියමින් නැවත නැවත එකම දේම කියමින් ලතැවෙන්නේ මෙතේ බුදුන් බුදු වෙන දා මේ අවනඩුව කියන්න බලන් ඉන්න නිසා කියලයි අපේ ජන කතාවල එන්නේ.
ආයිත්කියාන් ආයිත්කියාන් - අවිච්චියා ආයිත්කියාන් //
රන මොණරෝ අවිච්චියා - ඊයෙත් මෙහෙ ඇවිත් ගියා //
දෙවට ගහේ ගහ මුදුනේ - ඉඳගෙන ඌ අඬලන්නේ //
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන් //
මගුල් ගෙදර යන්න දීපු - ඇඳුම ඉල්ල ගන්න කියලා //
රන මොණරෝ අවිච්චියා - ඊයෙත් මෙහෙ ඇවිත් ගියා //
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන් //
ලැජ්ජ නැද්ද රන මොණරෝ - ගත්තු ඇඳුම දෙන්නෙ නැද්ද //
අවිච්චියෝ නිකන් නොඉන් - උඹේ නඩුව ආයිත් කියාන් //
ආයිත්කියාන් ආයිත්කියාන් - අවිච්චියා ආයිත්කියාන් //
රන මොණරෝ අවිච්චියා….
පද රචනය: ගාමිණී විජේතුංග
තනුව සහ සංගීතය: සරත් දසනායක
ගායනය: රෝහිණී ජයසිංහ
මොනරො උඹට කවුද දුන්නෙ ඇඳුම් කට්ටලේ
කිළුටු වෙන්නෙ නැත්ද ඕක යද්දි මේ කැලේ... //
අවීච්චියාගෙන් අරගෙන මඟුල් ගෙයක යන්න කියා
දුන්නෙ නැත්තෙ ඇයි ආපහු ඊයෙත් ඌ හොයලා ගියා... //
මොනරො උඹට කවුද දුන්නෙ...
ඊට පස්සෙ අවීච්චියා හිතේ බොහොම දුකින් ඉන්නෙ
කාගෙ දෙයක් වුනත් කැලේ නැහැ වැඩිපුර යන්නෙ එන්නෙ... //
මොනරො උඹට කවුද දුන්නෙ...
උඹගේ ලස්සන පෙනෙන්නෙ පිල් විදහා නටන කොටයි
අනුන්ගෙ දේ ඇරගත්තට හැබැයි මගේ හිතට දුකයි... //
මොනරො උඹට කවුද දුන්නෙ...
හොඳ නැහැ උඹ කරපු වැඩේ අවීච්චියා රවට්ටලා
කඳ දෙවිඳුට මා කියනවා ඕක අරන් දෙන්න කියලා… //
මොනරො උඹට කවුද දුන්නෙ...
පද රචනය: කරුණාරත්න අබේසේකර
තනුව සහ සංගීතය: ?
ගායනය: එස්. ලියනගේ (අපෙ අම්මා කොළඹ ගිහිල්ලා ගැයූ - එකල ළමා ගායක)